ආදරය,හැගීම්,බැදීම්,.....මේ සියල්ලම අත්හරින්න කෙටිම සහ හොදම මග....


සුභ දිනයක් කියල ඔයාල හැමෝටම වෙනද වගේම පතනවා..අද දවස ඉතින් ගොඩක් බවුද්ධ යට වැදගත් දිනයක්.ඉතින් ඒ වගේම තමා මේ වසරේ අවසාන පුරපසලොස්වක පොහොය දිනය..අපේ යාලුවෝ ඉතින් කියනවා පෝය දවසටවත් පන්සල් යනවද කියල...ඇත්ත කතාව.බොරු කියන්නේ මොනාටද යාලුවනේ මටත් අද පන්සල් නම් යන්න හැකියාවක් නෑ...එත් ඉතින් පෝය දවසේ කරගන්න පුළුවන් පිං එකතුවන කුසල් කර්මයක් හෝ කරගන්න කියල හිතල අද ලිපිය පල කරන්න හිතුව.මොකද ධර්ම දානය කියන්නෙත් උතුම් පුණ්‍ය කරමයකෙන් යාලුවනේ..
ඉතින් කාලයත් යද්දී අපේ මතකය නිකන්ම අමතක වෙලා යනවා.ඒ දවස්වල නම් මේ දේවල් කටපාඩම් අපි හැමෝටම..දැන් බාහිර වැඩපල එක්ක ඒ දේවල් අපෙන් ගිලිහිලා ගිහිල්ල..මතකය අලුත් කරගන්නත් එක්ක මේ ලිපිය කියවල බලන්න කියල ඉල්ලා සිටිනවා....
"පෙර සසරේ සිට - පෙමට පුදා සිත - ආවා ඔබ මෙහි යසෝදරා... යසෝදරා...
දරා කසා වත - භික්ෂුණියක ලෙස - නිවන් මගේ වැඩි යසෝදරා... යසෝදරා..."

බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස්දෙනෙක් උපන්නා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, කන්තක අශ්වයා, ඡන්න ඇමැතිවරයා, කාලුදායි අමාත්‍යවරයා සහ ශාක්‍යයන්ගේ කුලයේ උපන්න යශෝධරා. බෝසත් උපත සමග මේ පහේත් ඉපදීම ලෝකයට ලැබුණා.

යශෝධරා භික්ෂුණිය ගැන අපි හැමෝම බොහෝම ආදරයෙන් ගෞරවයෙන් කථාකරනවා. ඇය සිද්ධාර්ථ කුමාරයා සමඟ විවාහ වූයේ අවුරුදු 16 දී. එතැන් සිට සෙවනැල්ලක් වගේ කුමාරයාගේ ඇසුරේ සිටියා. රාහුල කුමාරයා උපන් දවසේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මුණා. ඉන් පස්සේ ඔහු ජීවත් වන ආකාරය යශෝධරා සොයා බැලුවා. එවිට ආරංචි වුනා ගිහි ඇඳුම් අත් හැරියා කියලා. යසෝදරාත් සියලුම කණකර අභරණ අතහැරියා. ඊළඟට ආරංචි වුණා කුමාරයා බිම සයනය කරනවා කියලා. යසෝදරාත් බිම සයනය කරන්න පටන් ගත්තා. ඊළඟට ආරංචි වුණා කුමාරයා එක වේලක් වළදන්නට පටන් අරගෙන කියලා. ඇයත් එක වේලක් කෑම ගන්න පටන් ගත්තා. මේ වගේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයට සම්බන්ධ අසීමිත ස්වාමි භක්තියකින් වායස කළ උතුම් කාන්තා රත්නයක් ලෙස යශෝධරාව ඉතිහාස ගත වෙලා තියෙන්නේ.

තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් නුවරට වැඩිය ගමනේ දී එදා යශෝධරාව උන්වහන්සේ බැහැ දකින්න පැමිණියේ නැහැ. ඒ ඇගේ දුක උහුලා ගන්න බැරිකම නිසා. එදා සන්ධ්‍යාවේ ධර්ම දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ අහනවා ‘මහරජ යශෝධරාවට කොහොමද?’ කියලා. එවිට පිය රජතුමා කියනවා ස්වාමිනි, යශෝධරාව ඔබවහන්සේ ගියදා සිට ඇය හැඬු කඳුළෙන් වාසය කරන්නේ. ඔබවහන්සේ නැති ශෝකයෙන් අප්‍රමාණ දුක් කන්දරාවක් ඇය වින්දා. දැන් යහන් ගබඩාවෙහි ඉන්නේ’’ කියලා.තථාගතයන් වහන්සේ මහත් වූ අනුකම්පා සහගත සිතින්ම යශෝධරා දේවිය සිටි උඩුමහලට වැඩ ‘යශෝධරා’ කියා කථා කළා. ඇය ඇවිත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදපත්මය ළඟ වැඳ වැටී වැළපුනා. ඇය හඬල ඉවරවුනාට පස්සේ තමයි “සඳකිඳුරු ජාතකය” දේශනා කොට වදාළේ.
යශෝධරා කුමරියගේ ජීවිතය සම්බන්ධව තියෙන මේ අසාමාන්‍ය අද්භූත තොරතුරු ගැන යම් කිසි අනුමාත්‍ර හැඟීමක් ඇතිකර ගන්න පුළුවන් ෂස්තරයක් තියෙනවා ථේර අපදානයේ.

එහි සඳහන් වෙනවා යශෝධරා පිරිනිවන් පෑමට තීරණය කිරීමේදී ඇයට වයස අවු.78 ක් වුණා. එතුමිය කල්පනා කළා නන්ද, රාහුල, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, සුද්ධෝදන මහරජ, ප්‍රජාපති ගෞතමිය, ප්‍රසිද්ධ මහ තෙරුන් වහන්සේ මහ තෙරණියන් බොහෝ දෙනෙක් මේ වන විට පිරිනිවන් පා අවසන්. ලෝකනාථ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී මමත් පිරිනිවන් පාන්න ඕන කියලා සිතා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් පවසනවා,
’ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ජීවිතයේ අවසාන භාගයට මම මේ පැමිණ සිටින්නේ. මහ වීරයන් වහන්ස, “මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සංසාරය පුරාවටම මම ඔබ වහන්සේ සමඟ මේ ගමන ආවා. ඔබවහන්සේ ගැන මගේ සිත කය වචනය තුළින් යම් වරදක් වූවානම් ඒ සියලු වරදට මට සමාව ලැබේවායි” කියා ඉල්ලා සිටියා.
එවිට තථාගතයන් වහන්සේ වදාළා යශෝධරා ඔබ තථාගත ශාසනයේ අනුශාසනා අනුව කටයුතු කළ තැනැත්තියක්. ඔබ නිවන් අවබෝධ කළ තැනැත්තියක්ද කියා මේ සිව්වනක් පිරිසේ කාටහරි යම් සැකයක් ඇතිවුනානම් ඒ සැකය නැති කිරීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර දක්වා පෙන්වන්නැයි වදාළා.
එවෙලෙහි යශෝධරා තෙරණිය පවසනවා ‘මහවීරයන් වහන්ස ශාක්‍ය කුලයේ උපන් ස්ත්‍රි ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මම යශෝධරා වෙමි. ගිහි ගෙයි දී ඔබගේ බිරිඳ වී සිටියෙමි. මහ වීරයන් වහන්ස, මම එක්ලක්ෂ අනූසහසක් කාන්තාවන්ට නායිකාව වී සිටියා. මේ ලෝකයේ සුන්දරත්වය තුළ තථාගතයන් වහන්සේ හැරුණු කොට සුන්දරම අග්‍ර රූපයෙන් යුක්ත වූයේ මායි’.
ඊළඟට ඇය ශරීරය සක්වල හා සම කරගෙන ලිහිනි රූපයක් මවාගෙන පිල් කළඹ දකුණු සයුරට සමකරගෙන හිමාලයේ තිබෙන නානා රූක්ෂයන්ට පියාපත් සමකරගෙන සඳ හිරු දෙක දෑස වශයෙන් තබාගෙන අද්භූත ආශ්චර්යක් දක්වනවා.
ඒ වගේම ඇත්, අස්, පර්වත මහ සයුර, සඳ හිරු ආදී ස්වරූප උන්වහන්සේ අහසේ පෙන්වනවා. ඒ තුළින් හඬක් මතුවෙනවා “මහා වීරයන් වහන්ස, මම යශෝධරා. ඔබ වහන්සේගේ් ගිහි කාලයේ බිරිඳ. ඇස් ඇතියාණන් වහන්ස, නුඹ වහන්සේගේ පා මම වන්දනා කරමි” කියලා
ඒ වගේම එක් පියුමක් මවා දහසක් ලෝක ධාතුව ඒ පියුමෙන් වසනවා.

ඒ පියුම තුළින් හඬක් මතුවෙනවා ස්වාමිනි, මම යශෝධරා වෙමි. ඔබවහන්සේ ගිහි කාලයේ බිරිඳ. ඇස් ඇතියාණන් වහන්ස මම ඔබවහන්සේගේ පා වන්දනා කරමි කියලා.
ඊළඟට බ්‍රහ්ම රාජයෙකුගේ ස්වරූපය මවා ගෙන අනිත්‍යය ගැන ධර්මය ප්‍රකාශ කරනවා. ඒ වගේම කියනවා මහ මුනින්ද්‍රයන් වහන්ස, දිව්‍ය ශ්‍රවණයෙන්ද අනුන්ගේ සිත් දක්නා නුවණින්ද පෙර විසූ කඳ පිළිබඳ දක්නා නුවණින්ද දිවස් ඤාණයෙන්ද යුක්තවූ ෂීනාෂ්වර තැනැත්තියක් වෙමි. මම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන පටිසම්භිදා ඤාණය ඔබවහන්සේගේ ශාසනය තුළින් ලැබුවෙමි. ඒ නිසා මහ වීරයන් වහන්ස මා විසින් බොහෝ පින් රැස්කර ගත්තා. මා විසින් අනාචාරය දුරුකොට ඔබවහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජාකළා. කල්ප දහස් ගණන් ඔබවහන්සේ පාරමි ධර්ම පුරද්දී මම බිරිඳ වෙලා හිටියා. ඒ බොහෝ අවස්ථාවලදී මාව දන් දුන්නා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී මම ද්වේෂ සහගත සිතක් ඇතිකර ගත්තේ නැහැ. මහ මුනින්ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ පාරමි පුරද්දී නොයෙක් කල්ප ගණන් සිය දහස් ගණන් ලක්ෂ ගණන් ආත්මවලදී යක්ෂ රාක්ෂයන්ට මාව දන් දීල තිබෙනවා. ඒත් මම කිසිම අවස්ථාවකදී ඔබවහන්සේ කෙරෙහි නපුරු සිතක් ඇතිකර ගත්තේ් නැහැ. නොයෙක් අවස්ථාවල දී මගේ ජීවිතය මම ඔබහන්සේ උදෙසා පරිත්‍යාග කොට තිබෙනවා. සිංහයන්, ව්‍යඝ්‍රයන්ගෙන් කරදර වූ අවස්ථාවලදී ඔබ වහන්සේගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම ඒ සතුන්ට බිලිවෙලා තියෙනවා.
මේ විදිහට සංසාර ගමන මතක් කරමින් නැවත වදාළා ඔබ වහන්සේ සම්බුද්ධත්වය උදෙසා පාරමි පුරද්දී යාචකයන්ට බොහෝ දන් දුන්නා. මම මගේ ශරීරයේ තිබුණු සියලු වස්ත්‍ර ආභරණ සියල්ලම නොසසඟවා ඔබවහන්සේ ඉදිරියේ තමා ‘ස්වාමිනි මෙයත් පූජා කරන්න’ කියා කිව්වා.

කෙත්වතු, දූ පුතුන් සියල්ල, පරිත්‍යාග කරන කල්හි ගණන් කළ නොහැකි ප්‍රමාණයේ අත්, අස්, ගව, මහේෂ්‍ය ආදී සේවකයෝ ද ඔබවහන්සේ බුදුබව පිණිස පූජාකරන කල්හි ඒ සියල්ලටම මමත් එකඟ වුණා. යාචකයන්ට දන් දෙමියි ඔබවහන්සේ මට යම්කිසි බසක් පැවසුවාද මමත් ඒ සඳහා සූදානම් වෙලා හිටියා. මගේ සිතේ ඒ සඳහා කිසිදු දොම්නසක් හට ගත්තේ නැහැ. මහ වීරයාණන් වහන්ස, ඔබවහන්සේ පාරමි පුරද්දී විවිධ ජාතිවල බොහෝ දුක්පීඩා වින්දා. ඒත් කවදාවත්ම මම ඔබ වහන්සේ කෙරෙහි දොම්නසක් ඇතිකර ගත්තේ නැහැ.

මේ ආකාරයට යශෝධරා තමන්ගේ ජීවිත කතාව විස්තර කරමින් තමන් බුදුසසුන තුළ ත්‍රිවිද්‍යාව ලැබූ බවත් ඒ නිසා නිවන ශාක්ෂාත් කරන බවත් පවසා පිරිනිවන් පෑවා.
බොහෝ නිහතමානි අහිංසක චරිතයක් වූ යශෝධරා තෙරණියගේ චරිතය අපේ බෞද්ධ කාන්තා පරපුරට බොහෝ දේ ඉගෙනගත හැකි ආදර්ශමත් උදාර චරිතයක්.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

Post a Comment

2 Comments

  1. mama ada thama me blog eka dakke aththatama watina adahas thiyenawa idiriyatath mema blog eka pawathwagena yamata sakthiya dahiriya labewa malli theruwan saranai

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලුව.....ඔයාටත් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියල ඉල්ලා සිටිනවා...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....