”බුදු දහම” සංගීතයක් කරලා..

සුභ උදෑසනක් යාලුවනේ හැමෝටම....කියන්න ගොඩක් කණගාටුයි.මගේ අම්ම හදිසි අනතුරකින් ඊයේ හවස රෝහල් ගත කරා කකුල දණහිස ලගින් බිදිලා..ඉතින් මම මේ දවස් ටිකේම ගොඩක් මහන්සි වෙන්න වෙයි..ලිපි පලකරන්නත් බැරි වෙයි ටික දවසක් යනකල්..සමාවෙන්න ඕන..එත් ඊයේ අහම්බෙන් දැකපු පුවතක් නිසා මේ ලිපිය අද පලකරන්නම ඕන කියල හිතුව..ජාතියේ පිනට පහල වෙන උතුම් බුද්ද පුත්‍රයෝ අප අතර තවමත් ජීවමානවම ඉන්නවා යාලුවනේ අපි හැමදාම කතා කරන දේවල් සක් සුදක් සේ සැබෑව යථාර්තයක් කරමින් ඒ දේ සහතික කරමින් කරපු ප්‍රකාශයක් තමයි අද මේ ලිපියන් පළකරන්නේ.අපි අතරේ ඉන්න සැබෑම මනුස්සකම සහිත උතුම් ස්වාමින් වහන්සේ නමක් කරපු ප්‍රකාශයක්..ලෝකෙම පිළිගත් උතුම් දර්ශනයක ඉන්න අපේ රටේ උතුම් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ස්වාමින් වහන්සේ නමක්..ඒ මනුසත් කමට ගවුරවයක් පිණිස මේ ලිපිය අද ඔයාල හමෝටම පලකරන්නම්..කියවලම බලන්න යාලුවනේ..

මුළු මහත් ශ්‍රී ලංකාවේ පමණක් නොව බෞද්ධ ලෝකය පුරාවට අතිශය සිල්වත් වියපත් හිමිනමක් හැටියට නමක් දිනාගත්, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපති, හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණෝ පසුගිය මාර්තු 24 වැනිදා භාවනා මධ්‍යස්ථානයේ අධිපති භාවයෙන්ද සමාජ මෙහෙවරෙන්ද මිදී හුදෙකලා නිදහස් භාවනාමය දිවියකට ඇතුළු වූහ. 

”මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිධුරය ලබාගෙන දැන් වසර 13ක්. දැන් මේ ස්ථානයට පෙහෙවස් සමාදන් වෙන්න වෙසක් පෝදාට එන පිිරිස තුන්දහසකට වැඩියි. සාමාන්‍ය පෝයකට වුණත් දාහක් විතර සිල් සමාදන් වෙන්න එනවා. අපි කළ යුත්තේ පන්සල්වල ගොඩනැගිලි වගාව නෙමෙයි. මිනිසුන් අතර ගුණ වගාවයි. අද අපේ රටට මෙය ඉතාමත් අවශ්‍යයි. මම දැන් මේ ආයතනයේ අධිපතිකම කළා ඇති. තවත් කෙනකුගේ ආගමික සංකල්පනාවන් බෞද්ධ ජනතාවට ලබා දීම සඳහා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ භාවනානුයෝගී වූ මගේ පැවිදි සහෝදරයකු වන ගම්පහ පේමසිරි හාමුදුරුවන්ට ආයතනය බාර දෙනවා.

දානමාන වලින් ලැබුණු ලක්ෂ ගණන් මුදල් දුප්පත් අයට ගෙවල් දොරවල් හදාගන්න දන් දුන්නා. පන්සල් මකර තොරණ ආදිය නෙමෙයි හදන්න ඕනෑ. අපි මිනිසුන් හදන්නයි ඕනෑ. ගිය අවුරුද්දේ දුප්පතුන්ට ගෙවල් දෙකක් හදලා දුන්නා. පිළිකා රෝහලකට ලක්ෂ තිහක වියදමින් ශල්‍යාගාරයක් හදලා දුන්නා. මූදුකරයට සුනාමිය කඩා වැදුණු වෙලාවේ ගෙයක් ගානේ ගිහිං පිණ්ඩපාත කරලා පාරිභෝගික උපභෝගික ආහාර පාන බඩු බාහිරාදිය ලබාදුන්නා.”

”මම තවමත් ගමන් බිමන් යන්නේ කාගේ හෝ වාහනයක් ඉල්ලගෙන. මට පස් දෙනෙක් වාහන පූජා කරන්න ආවා. කුරුණෑගල පැත්තේ එක් ව්‍යාපාරිකයෙක් රුපියල් හැට ලක්ෂයක අලූත්ම වාහනයක් ගෙනැවිත් මට පූජා කළා. ඒත් මම ඒ වාහනය ආපහු ඒ අයටම දුන්නා. පණ ඇති දෙපයක් තියෙන තුරු මිනිසුන් අතරට යන්න. බොහෝ අයට යන්න නොලැබෙන සැප පහසු වාහනවල මම යන්නේ ඇයි? මමත් මිනිසුන්ගේම කෙනෙක්. මිනිසුන් නොවිඳින සැපපහසුකම් මට වුවමනා නෑ”

”මම දැන් ජන මාධ්‍යයට යන්න කැමති නෑ. දැන් සඟ පරපුර තුළ වූවත් කැපී පෙනෙන්න ජන මාධ්‍යයට එන්නේ බුදු බණ විකෘති කරන අය. මම ඒ අය අතරට, ඒ ගණයට වැටෙන්න කැමති නෑ. ”බුදු දහම” සංගීතයක් කරගත් අයත් අලූත් පරපුර තුළ ඉන්නවා.” ”අපේ සිිරිත පරම්පරානුගතව පන්සල් බාර දීම නෙමෙයි. වැඩට දක්ෂ දැන උගත් නිර්මාණශීලී ආගමට දහමට කැප වූ අයට පන්සල් බාර දීමයි අපේ සිරිත. ඒ කාර්යය ඉෂ්ඨ සිද්ධ කරන්නේ දැන උගත් දායක සභාවෙන්.”

”මම දැන් මුදල් පරිහරණය නවත්වනවා. දුර බැහැර ගමන් බිමන් සහ සමාජ සේවා කටයුතු නවත්වනවා. මගේ කුටියට වෙලා බණ දහම් තවදුරටත් භාවනා කරගෙන හුදකලාවේ සිටීමයි මගේ අධිෂ්ඨානය.

මගේ අපවත් වීමෙන් පසු බොරු ශෝභන උත්සව කිසිවක් එපා. ගුණකථන කිසිවක් එපා. සැදැහැවතුන්ට දඬුවම් දෙන පිංකම් එපා. ලී වලින් හදපු බොහෝම සරල පෙට්ටියක මගේ මළකඳ තැන්පත් කරලා අපවත් වී පැය 24ක් ගතවන්නට පෙර යක්කල ආයුර්වේද විද්‍යාලයට භාර දෙන්න. මා වෙනුවෙන් වෙනත් උපහාර පුද පූජා නොකරන හැටියට දායක සභාවෙන් ඉල්ලා සිටිනවා. යළිත් වරක් මේ ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ ජනතාවට බුදු දහමේ ගුණ මහිමය පෙන්වා දීමට මට පුනරුත්පත්තියක් ලැබේවි. මම ඒ තරමටම පින් කරලා තියෙනවා. බෞද්ධ ජනතාව තුළ බොරු ශෝබන නැතිව ගුණ දහම් වගා කිරීමයි මගේ එකම ප‍්‍රාර්ථනය.

ඔබ හැම දෙනාමට තුනුරුවන් සරණයි”
උන්වන්සේ අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කළහ.

උපුටා ගැනීමකි..
2013 අපේ‍්‍රල් මස 21 10:42:33 | ලංකාදීප පුවත් ඇසුරින්..


Post a Comment

0 Comments